දිනය මැයි 18

අමතකද කළ නොහැකියි..සමාවද දිය නොහැකියි. දමිළ ජාතිය වැනසූ දිනය මැයි 18. දෙමළ අකුරින් ගහලා තියෙන්නේ ඒක. එතකොට ඔය මලක් වගේ එකක් තියෙන්නේ..ඒක තමයි නියඟලා මල ඊළාම් රාජ්‍යයේ ජාතික පුෂ්පය. ඔය රතු කහ කොඩි තමයි කොටි සංවිධානය භාවිතා කළ වර්ණ.

දැන් මේක දකිද්දි ලොකු තරහක් වෛරයක් එනවද? යුද්ධ කරන්න හිතෙනවද? මේ යාපනේ ඉන්න අපිට නම් එහෙම නෑ. අපිට එන්නේ ලොකු කලකිරීමක්. මෙයාලා ගැන නෙවෙයි..මේ අපි ගැනමයි.

අපි මහ කුහක ජාතියක්. සිංහලයෙක් විදියට මෙහෙම කියන්න වීම තමයි ලොකුම ලැජ්ජාව. වදාපු අම්මා තාත්තා පවා අමතක කරන මහ නින්දිත ජාතියක් අපි. අපේ කිසිම එකමුතුවක් නෑ. එකෙකුට එකෙක් නෑ.යාපනේ කැම්පස් ඇවිල්ලත් අපි අපි ගහ මරා ගන්නවා. අපිට කතා කරන්න දහසකුත් එකක් ප්‍ර‍ශ්ණ. සයිටම් ප්‍ර‍ශ්ණ කුණු ප්‍ර‍ශ්ණ ටොයියො බයියෝ ප්‍ර‍ශ්ණ කෙනෙක් ඇඟ හැදුවාලු කෙනෙක් ඇඟ පෙන්නුවාලු, සිඟිති පාතාලේ, එක එක්කෙනාට මඩ ගහන වැඩ, සිංහලෙන් රැප් කරන වැඩ, කාගේ හරි නමක් දාලා බෝඩ් එකක් උස්සලා ඒකට විහිළු කරන වැඩ, ෆේස්බුක් එකේ විහිළු පිටු හද හදා මාක් සකර්බර්ගෙ ඉඳන් ගමේ ගුණපාලයා දක්වා ඇණුම් පද කියන වැඩ, අරයාගේ මෙයාගේ ඕප දූප හොය හොයා පිටු වලට ලයික් වැඩි කරගන්න වැඩ, ඔය විදියට කෙළවරක් නැති ප්‍ර‍ශ්ණ අපිට.

ඒත් මේ මිනිස්සුන්ට එහෙම නෑ. එයාලට එදත් අදත් (හෙටත්) තියෙන්නේ එකම ප්‍ර‍ශ්ණයක්. ඒ තමයි තමුන්ගේ ජාතියේ උරුමය ආරක්ෂා කරගැනීම. ඒක යාපනේ ඉන්න අපි හොඳාකාරවම දැනගත්තු දෙයක්. මෙයාලා කවදාවත් තමුන්ගේ මියගිය කෙනෙක්ව අමතක කළේ නැහැ. දිලීපන් ගේ ඉඳන් ප්‍ර‍භාකරන් දක්වා මිය ගිය සෑම අයෙක්වම මෙයාලා අවුරුද්දක් පාසා සිහි කරනවා. මෙයාලගේ දේශපාලඥයොත් මුදල් තණ්හාවේ කාර් වලට කෙල හළ හළ ඉන්න අය නෙවෙයි. ඒ අයත් කට ඇරියොත් කතා කරන්නේ එයාලගේ උරුමය ගැන.

ලංකාවේ කීයක් නම් සිංහල පත්තර, සිංහල මාධ්‍ය තියනවද? දමිළ මාධ්‍යය තියෙන්නේ තුනයි හෝ හතරයි. ඒ හැම “දමිළ“ මාධ්‍යයක්ම තම ජාතියට උදවු කරන්න පසුබට වෙන්නේ නැහැ.

දකුණු ලංකාවේ මේ වන විට කීයක් නම් ස්ත්‍රී දූෂණ සිදුවුණාද? ඒවා දැන් මතකද? හැබැයි මෙහේ විද්‍යාව දූෂණය කරපු එක මෙයාලා අදටත් අමතක කරලා නෑ. පසුගිය දිනෙකත් ඒ වෙනුවෙන් පොඩි අරගලයක් තිබ්බා. ජාතියක් හැටියට ඉස්සරහට යන්නේ එහෙමයි. අපේ මිනිස්සු කොච්චර කුහකද කියනවා නම් දැන් මේ සේරම පැත්තකට දාලා මේක ලියන මට බණියි කොටියාට කඩේ යනවා දෙමළාට කඩේ යනවා කියලා. ඕක තමයි අපේ මිනිස්සුන්ට පුළුවන් උපරිමේ. එහෙවු අයටත් පිළිතුරක් දෙන්නම්. මං මේ සිංහලෙන් දාන පෝස්ටුව දමිළ අයට තේරෙන්නෙ නෑ. එයාලා හිතන්නේ මම එයාලට විරුද්ධව කතා කරනවා කියලා. යාපනේ ඉඳගෙන මේ වගේ පෝස්ටුවක් දාන එකම සිංහලයා තමයි මම. කාටවත් කඩේ යනවා නෙවෙයි, මේවා දැකලා දැකලා දැකලා අවසාන මොහොතේ තමයි මගේ ජාතියට මේ විදියට ආමන්ත්‍ර‍ණය කරන්න හිතුවේ. ලැජ්ජයි !

ජාතියක් හැටියට අපිට කරගන්න බැරිවුණ දේ මේ මිනිස්සු එකාවන්ව ඉඳලා අද සෑහෙන දුරකට ඉෂ්ට කරගෙන තියනවා. අතට ගත්තු දේ කටට දාගන්න බැරි අපේ සිංහල ජාතියට මේ මිනිස්සුන්ගෙන් ඉගෙන ගත යුතු දේවල් හුඟක් තියනවා. මේ මිනිස්සුන්ගේ එකමුතු කම තියන තාක් කල් කවදාවත් වරදින්නෑ. අද බැරි නම් හෙට බැරි නම් අවුරුදු 100 ක් ගියත් තමන්ගේ උරුමය ලබාගෙන තමයි මෙයාලා නවතින්නේ. අපේ දීනකම් උදාසීනකම් කුහකකම් කෙළෙහි ගුණ නොදන්න කම් තියනකල් කවදාවත් අපිට ජාතියක් හැටියට ඉදිරියට යන්න බෑ ඒකයි ඇත්ත. දමිළ මිනිස්සුන්ට බැනලා දොස් කියලා වැඩක් නෑ. කොහෙත්ම වැඩක් නෑ. යුද්ධ කරලා වැඩකුත් නෑ. මෙච්චර ලොකු යුද්ධයක් කරලා අවුරුදු 8 න් අමතක කළා නම් ආයේ කොච්චර යුද්ධ කළත් ඔච්චර තමයි.

දැන් ඉතින් ජාතියක් හැටියට අපි බලාගෙන ඉමු මොකද වෙන්නේ කියලා..උත්සාහවන්තයින් ජයගනියි.

(Thank you – Indrajith Kumara )

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

*

vakeesam Like Page close[x]
Or wait 30 seconds
Social Media Auto Publish Powered By : XYZScripts.com